ඔබ මෙතනයි : මුල් පිටුව පුවත් හා සිදුවිම් තෛපොංගල් සුබ පැතුම් පණිවිඩය

තෛපොංගල් සුබ පැතුම් පණිවිඩය

ලොව පුරා දෙමළ ජනතාව බැතියෙන් සමරනු ලබන තෛපොංගල් උත්සවයට ශුභාශිංසන එක් කරනුයේ ඉමහත් සතුටිනි. හින්දු දින දර්ශනයට අනුව පළමු මාසය 'තෛ' යනුවෙන් හැඳින්වෙන අතර පොංගල් යන්නෙන් උදාව යන්න අර්ථවත් වේ.

කෘෂිකාර්මික කටයුතු සාර්ථක කර ගැනීමට හිරු දෙවියන් ඇතුළු ස්වභාව ධර්මය දුන් ශක්තියට කෘතගුණ සැලකීම මුල් කරගෙන නව වසරේ උදාව සමරනු ලබන තෛපොංගල් දින උත්සවය ආගමික, සංස්කෘතික හා සමාජීය වශයෙන් ඉතාමත් වැදගත් දිනයකි.
අලුත් සහල් ද, අලුත් උක් ගසකින් ගත් පැණි ද, එළකිරි ද යොදා පිසින පොංගල් කිරිබත හා මංගල ද්රව්යක් ලෙස කහ පිඬක් ද භක්ති පූර්වකව හිරු දෙවියන් වෙත පුදා නමස්කාර කිරීම අද දිනයේ විශේෂත්වයකි. ස්වභාව ධර්මයේ වටිනාකම, සමානාත්මතාව, කෘතගුණ දැක්වීමේ උසස් ගුණාංගය වැනි සියලු ආගම්වල මානුෂීය අදහස් පිළිබඳව තෛපොංගල් උත්සවය අපට අවබෝධයක් ලබා දෙයි.
ජාතිය, ආගම සහ භාෂාව අනුව එකිනෙකට වෙනස් වුව ද අප සියලු දෙනා ශ්රී ලාංකිකයන් ලෙස සිතුවිලි හා අපේක්ෂාවන්ගෙන් එක හා සමාන ය. අභියෝගාත්මක කාල වකවානුවක වුව ද සෞභාග්යමත් දේශයක් වෙනුවෙන් සියලු ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම උදෙසා රජය ඇප කැප වී සිටියි.
ඒ නිසා මෙවර තෛපොංගල් උත්සවය ශ්රී ලංකාවේ සහ විදෙස්ගතව සිටින ශ්රී ලාංකික දෙමළ ජනතාව ඇතුළු ලොව පුරා දෙමළ ජනතාවට නැවුම් බලාපොරොත්තු සහිතව බැතියෙන් සැමරිය හැකි ය. ස්භාවධර්මයට මෙන් ම එකිනෙකාට කෘතගුණ සලකන සමාජයක් තුළින් ආගමික හා සංස්කෘතික වශයෙන් උසස් සංහිදියාවක් නිතැතින් ඇති වේ.
නව වසරේ උදාව සමරන දෙමළ ජනතාව සහ අනෙකුත් ජාතීන්ට තෛපොංගල් දින සාධු අර්ථ සිය ජීවිතවලට ළඟා කර ගැනීමෙන් අනාගත ශ්රී ලංකාව සෞභාග්යමත් හා සාමකාමී දේශයක් ලෙස පෙරට ගෙන ආ හැකි ය.
ශ්රී ලංකාවේ සාමය හා සංහිදියාව අධිෂ්ඨාන කරගත් ජාතික සංහිඳියාවේ දිනයක් බවට තෛපොංගල් දින උත්සවය පත් වනු දැකීම අප සැමගේ අපේක්ෂාවයි.
තෛපොංගල් උත්සවය සමරන සහෝදර දෙමළ ජනතාවට සියලු අනාගත අපේක්ෂාවන් ඉටුවන සෞභාග්යමත් ජීවිතයක් ගත කිරීමට හැකියාව ලැබේවා! යැයි මෙම ප්රීතිමත් දිනයේ මම සුබ ප්රාර්ථනා කරමි.
අගමැති මහින්ද රාජපක්ෂ